Thursday 23 April 2020

පවුල ඇතුළෙ ආදරය ප්‍රකාශ කරමු


පාරම්පරිකව අපේ දෙමව්පියෝ, විශේෂයෙන්ම අපේ තාත්තලා, තමන්ගේ දරුවන්ට තියෙන අසීමිත ආදරය, හිතේ තියාගෙන හිටියට, වචන වලින් ප්‍රකාශ කළේ නෑ.
දරුවනුත්, දෙමාපියන් කෙරේ පැවති ආදරය ප්‍රකාශ කර කරා හිටියෙ නෑ. අපේ පැරණි පවුල් සංස්ථාව ඇතුළෙ එහෙම අවශ්‍යතාවයක් මතුවුනෙත් නෑ.

නමුත් වර්තමාන සමාජයේ තත්වය මීට හුඟක් වෙනස්. හැමතැනම තියෙන්නෙ දරුවො දෙමාපියන්ගෙන් දුරස්කරන වාතාවරණයක්. ඒ නිසා, මේ වාගෙ සරල පුරුදු අපේ පවුල ඇතුළෙ වගා කරගන්න පුළුවන් නම්, ඒක පසුකාලීනව ඉතා වැදගත් වනු ඇත.

Wednesday 22 April 2020

අම්මගෙ සිනහව


අම්මගෙ සිනහව

අහසේ තරු එල්ලූයේ කවුරුද අම්මේ
හඳ මාමා පාට කළේ කවුරුද අම්මේ
නිල් අහසට දේදුන්නක් කොයින්ද අම්මේ
මේ ලස්සන හිනහව මට කොයින්ද අම්මේ

අම්මව මට හම්බවුණේ කොහොමද අම්මේ
තාත්ත මට තෑගි කළේ කවුරුද අම්මේ
මේ හුරතල් මල්ලිය මට කොයින්ද අම්මේ
මේ ලස්සන හිනහව මට කොයින්ද අම්මේ

කුරුල්ලො මට කථාකළා පියාඹන්න ඈත ඈත
මී මැස්සෝ අඬගහනව රොන් උරන්න කැලේ ගිහින්
සුරංගනාවියො එන්නලු රෑ අහසේ ඇවිදින්නට
ඒත් අම්මෙ මගෙ හිනහව අම්ම ළඟ ම තිබිච්චදෙන්....


කුඩා දරුවෙකුගේ සිතුවිලිත්, දරුවා තුළ සිය මව කෙරේ ඇති බැඳීමත් පිළිබිඹු කිරීමට දරන ලද උත්සාහයකි මේ පද වැල. නමුත් එහි යොවුන් දරුවෙකු මුහුණදෙන සමාජ තත්ත්වයන් ද ගැබ් වී ඇතිබව ද පෙනේ.

Sunday 19 April 2020

කොරෝනා කියලා සතෙක් ඇවිල්ලා


කොරෝන කියලා සතෙක් ඇවිල්ලා


පුංචි සමන්ති ඉන්නෙ කොළඹ පලාතෙ. එයාලගෙ ගෙදර ලොකුයි, හැබැයි ගෙවත්තක් නැති තරම්. සමන්තියි එයාගෙ මල්ලියයි සෙල්ලම් කරන්නෙ ගේ ඇතුළෙ. මොකද දන්නවද ; එයාගෙ අම්මයි තාත්තයි අමාරුවෙන් සල්ලි දීල ඇරගෙන තිබ්බෙ පුංචි ඉඩමක් නිසා. ගේ හදල බලනකොට ගෙවත්තකට ඉඩක් ඉතුරුවෙලා තිබ්බෙ නෑ.

හැබැයි, සමන්තිගෙ අම්මයි තාත්තයි සතියට දවස් දෙක තුනක්ම හවසට එයාලව එක්කගෙන යනවා ළඟ තියෙන පිට්ටනියකට. ඒකට සමන්තිල වගේ තව ගොඩක් ළමයි එනව, සෙල්ලම් කරන්න. හැමෝගෙම ගෙවල්වල සෙල්ලම් කරන්න තරම් වන වත්තක් - මිදුලක් නෑ. හැමෝගෙම දෙමව්පියෝ අමාරුවෙන් සල්ලි එකතු කරල, පරිස්සමෙන් වියදම් කරල තමයි තම තමන්ගෙ ගෙවල් හදල තියෙන්නෙ. සමන්තිලගේ පළාතෙ විතරක් නෙවේ, ලංකාවෙ - ලෝකෙ ගොඩක් තැන්වල ඒක එහෙම තමා.

දවසකත් සමන්ති ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවෙ හවසට සෙල්ලම් කරන්න යන්න හිතාගෙන. ඇවිත් මූනකට සෝදගෙන, ගෙදර වැඩ ඉක්මනට ඉවර කරල, ආයම්ම හදල දුන්නු තේ එක බිබී, තාත්තයි අම්මයි එනකල් මග බල්ල්ගෙන හිටියා. ඒත් දෙන්න ගෙදර ඇවිත් කිව්වෙ හරි අමුතු කථාවක්.

ඒගොල්ලො කිව්වා ලංකාවට කොරෝනාකියල අළුත් සතෙක් ඇවිල්ල කියලා. ඉතින් සමන්තියි එයාගෙ මල්ලියි දෙන්නම දෙමව්පියන්ට ඇවිටිළි කරන්න පටන්ගත්තා ඒ අළුත් සතාව බලන්න ඕනෙ කියලා. සත්තු වත්තෙද ඉන්නෙ කියලත් ඇහුවා. එතකොට තාත්තා කිව්වාකොරෝනාකියන සතා හරි නපුරු - භයානක සතෙක්, මොකද ඌ මිනිස්සුන්ට අමාරු ලෙඩක් හදනවා කියල.


මල්ලිත් හොඳටම බයවෙලා ඇහුවා ඒ සතා හපනවා ද කියලා. එතකොට අම්මා කිව්වානෑ නෑ පුතේ, කොරෝනාව ඇහැටවත් පේන්නෙ නෑ. ඌ අපේ නහයෙන් ඇඟට ඇතුළුවෙලා අපිව ලෙඩ කරනවාකියලා.

ඉතින් චූටි දුවේ පුතේ, සමන්තියි එයාගෙ මල්ලියි කොච්චර බයවුනා ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. සමන්ති තාත්තගෙන් ඇහුවා කොහොමද ඒ සතාගෙන් බේරිල ඉන්නෙ කියලා. එතකොට තමයි තාත්ත කිව්වෙ, එදා ඉඳලා ඉස්කෝලෙයි, අනෙක් කන්තෝරුයි එක්කෝම වහල, ලංකාවෙම මිනිස්සු ගෙදරට වෙලා ඉන්න තීරණය කරල තියෙන බව.

එදාට පස්සේ සමන්තිටයි මල්ලිටයි සිද්දවුනා අම්මයි තාත්තයි එක්ක ගෙදරටම වෙලා ඉන්න. ආයම්මත් එයාලත් එක්ක නතරවුනා. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරිවුනත්, ඒ දෙන්නට හරිම සතුටක් දැනුන දෙමව්පියොත් එක්ක ගෙදර ඉන්න ලැබීම ගැන. ඒ දවස්වල අම්මයි තාත්තයි, අක්කයි මල්ලියි හතරදෙනා චෙස්, කැරම්, කාඩ් සෙල්ලම්, ඔළිඳ, scrabble වගේ සෙල්ලම් ගොඩක් කළා. රූපවාහිනිය එච්චර පාවිච්චි වුනේ නෑ. තාත්තයි අම්මයි, ඒ දෙන්නට internet එකේ ලස්සන ලස්සන ගොඩක් දේවල් පෙන්නුවා. ආයම්මත් මේ සමහර සෙල්ලම් වලට එකතුවුනා. අක්කටයි මල්ලිටයි හරි සතුටුයි. එයාලට කොරෝනා කියන නපුරු සතාව ඉඳල හිටල මතක්වුනා. ඒත් පරෙස්සමින් ගෙදරට වෙලා හැංගිලා හිටියොත් ඒ සතාගෙන් කරදරයක් වෙන්නෙ නෑ කියලා ඒගොල්ලො දැනගෙන හිටියා.

මේ කට්ටිය මේ විදිහට ම, මාස දෙකක් විතර ගෙදර හැංගිලා හිටියා. දවසක් උදේ, කලින් වගේම අම්මයි තාත්තයි වැඩට ගියා. නහයයි කටයි වැහෙන්න mask දාලා, අතේ ගාන නිල්පාට වතුර කුප්පියක් බෑග්වල දාගෙන තමයි ඒගොල්ලො පිටත් වුනේ. සමන්තියි, මල්ලියයි ආයම්මත් එක්ක ගෙදර හිටියා. සමන්ති හවස් වෙනකල් බයේ හිටියා, ‘කොරෝනාඅම්මටයි තාත්තටයි කරදරයක් කරයි කියල. ඒත් එහෙම දෙයක් වුනේ නෑ. අම්මයි තාත්තයි හොඳට පරෙස්සම් වෙලා තිබ්බ.



ටික දවසකට පස්සෙ ඉස්කෝලෙත් පටන්ගත්ත. යාළුවොත්කොරෝනාගැන එක එක කථා කිව්වා. කොරෝනාගෙන් බේරෙන විදිහ ගැන ඉස්කෝලෙ චිත්රපටි, නාට්ය පෙන්නුවා, ගුරුවරු නිතරම ඒ ගැන සමන්තිලට මතක් කළා. නිතර අත් සෝදන එක, ඉස්කෝලෙදි ඇස්-මූන-නහය අල්ලන්නෙ නැතිව ඉන්න එක, යාළුවන්ට ගොඩක් ළංවෙන්නෙ නැතුව ඉන්න එක, නිතර පිරිසිදු වතුර බොන එක, වැඩියෙන් එළවළු පලතුරු කෑමට ගන්න එක හැමෝම පුරුදු කළා.

කොරෝනා කියන නපුරු සතාට, සමන්තිලගෙ පළාතෙ කාටවත් ළංවෙන්න බැරිවුණා. ඒ පැත්තෙ හැමෝම දිගටම පරෙස්සම් වුනා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔයාලත් ඔයාලගේ යාළුවන්ටයි, වැඩිහිටියන්ටයි නිතරම සමන්තිලගේ කථාව මතක් කරන්න. ඔයාලත් හැමෝම එකතු කරගෙන පරෙස්සම් වෙන්න. එතකොට ඔයාලටත් මේ නපුරු සතාගෙන් බේරෙන්න පුළුවන් වේවි.